2011/07/12

ඇයි එයා මං වගේ හිතන්නෙ නැත්තෙ? - 01

ඇයි එයා මං වගේ හිතන්නෙ නැත්තෙ?
මට පුලුවන් නම් ඇයි එයාට බැරි එහෙම කරන්න?

ඔයාගෙ හිතටත් එහෙම ප්‍රශ්න ඇවිත් තියෙනවද? එහෙනම් මේ ලියන්නෙ ඔයාට වෙන්න පුලුවන්. ගණන් ගන්න එපා....හැමෝටම එකසැරයක් හරි මෙහෙම හිතිලා තියෙනවා කියලා ගෙඹි පැටියට හිතුණා...ඒක බොහොම සාමාන්‍යයි....

ඔයාට එයාව මුලින්ම මුණගැහුණු හැටි, අඳුනගත්ත හැටි, ඉන්පස්සෙ ටිකෙන් ටික දැන් ඉන්න තැන වෙනකල් ආපු හැටි..ඩිංගක් මතක් කරල බලන්න...ඉස්සර නම් එයා හරි හොඳයි....මම ආස හැමදේම එයා ළඟ තිබුණා...ඒත් පස්සෙ පස්සෙ ඒ දෙවල් ටිකෙන් ටික  එයාගෙන් නැති වෙලා ගියා.....


එහෙම හිතුණද? එහෙනම් ගෙඹි පැටියා ඔයාට කියන මේ මේ පුංචි කතන්දරේ අහන්නකෝ....මේක ගෙඹි පැටියට පර්යේෂණාත්මක පොතක කියවන්න ලැබුණු දෙයක්. පුහ්.....නෑ නෑ.....කම්මැලි බරපතල එකක් නෙමෙයි...ඒක හරිම ලස්සනයි. ඒ නිසාම අද ඉඳන් එයින් ගත් දේවල් සිංහලෙන් ඔයාලට ලියන්න හිතුණා.

මුලින්ම ඔයා හිතන්න ගැහැණු ආවෙ සිකුරු ග්‍රහලෝකෙන්, පිරිමි ආවෙ අඟහරු ග්‍රහලෝකෙන් කියලා....අමුතුයි වගේද? පිටසක් වල ජීවියෝ! .......නිකමට එහෙම හිතන්නකො...හොඳද.....

ඔන්න ඉතින් ගොඩාක් කාලෙකට ඉස්සර, අඟහරු වැසියෝ (පිරිමි) එයාලගෙ දුරදක්න වලින් අහස බලනකොට දකිනව මේ සිකුරු ග්‍රහලෝකය. කවදාකවත් නොදැකපු සිකුරු ග්‍රහලෝකෙ ඉඳපු (ගැහැණු) අයව  යන්තම් දැකපු ගමන්ම අඟහරු වැසියන් වෙන කවදාවත් අත් විඳල නැති හරි සුන්දර හැඟීම් ගොඩාක් එයාලගෙ හිත් වල ඇතිවෙනවා. අඟහරුවෝ සිකුරු වැසියන් ගැන ආදරෙන් බැඳිලා ඒ අයව හොයාගෙන සිකුරු ග්‍රහලෝකෙට යනවා අභ්‍යවකාශ යානාවක නැගලා! මරු නේ...!

ඉතින් මේ සිකුරු වාසීන් සිකුරු ග්‍රහලෝකෙට ගොඩබැහැපු අඟහරුවන්ව බොහෝම සුහදව පිළිගන්නවා. එයාලා තේරෙන කාලෙ ඉඳන් දැනගෙන බලාපොරොත්තුවෙන් ඉඳපු දවසක් තමයි මේ උදා වුණේ. ඒ අයගෙ හිත් අඟහරුවන් ගැන ආදරෙන් පිරෙනවා...

මේ දෙපිරිස අතර ඇතිවෙන ආදරය හරි පුදුම දෙයක් තමයි. ඒ අය එකට වාසය කිරීමෙන්, එක එක දෙවල් එකතු වෙලා කිරීමෙන්, බෙදාහදා ගැනීමෙන් හරි පුදුම සතුටක් ලබනවා. ඒ දෙගොල්ලො ආවෙ වෙනමම ග්‍රහලෝක දෙකක ඉඳල වුණාට, එයාලගෙ ඒ කිසිම වෙනස්කමක් - වෙනස්කමක් විදියට එයාලා දකින්නෙ නෑ. ඉතින් මේ අලුතින් මුණගැහුණු ග්‍රහලෝක දෙකකින් ආපු අය මාස ගණනක් එකිනෙකා ගැන ඉගෙනගනිමින්, හොයාබලමින් ඉන්නවා. අනිත් පාර්ශ්වයෙ වෙනස් අවශ්‍යතා, රුචි අරුචිකම්, චර්යා රටා හැම දෙයක්ම ඒ අය බොහොම අගය කරනවා. ඒවාට හිතින් බැඳෙනවා, ආදරේ කරනවා ඒ දැනෙන වෙනස් කම් වලට. ඉතින් මේ විදියට අවුරුදු ගණනාවක් මේ අය හුඟාක් ආදරෙන් සතුටින් ඉන්නවා.





ඉන්පස්සෙ මේ අය තීරණය කරනවා පෘථිවියට යන්න. පෘථිවියට ගොඩබැහැපු මුල් කාලෙ නම් හරිම ලස්සනයි. හුඟාක් සතුටින් ඉන්නවා. නමුත් පෘථිවියෙ වායුගෝලයෙ බලපෑමක් නිසාද මන්දා....දවසක් උදේ මේ අය නැගිටිනකොට හරි පුදුම දෙයක් වෙලා තිබුණා...! මේ අය නැගිටින්නෙ අවසිහියෙන් වගේ. ඔව්...හරිම අසාමාන්‍ය තත්වයක්. කලින් කවදාකවත් මෙහෙම වෙලා නෑ!...

දැන් අඟහරු වැසියොයි සිකුරු වැසියොයි දෙගොල්ලන්ගෙම මතකය නැති වෙලා ගිහින්! අපොයි.....! දැන් මේ දෙගොල්ලන්ට මතක නැහැ එයාලා ආවෙ වෙනමම ග්‍රහලෝක දෙකක ඉඳන් කියලා...ඒ වගෙම මේ දෙගොල්ලන් වෙනස් කියලත් දැන් මෙයාලට අමතකයි...අර කලින් අඳුනගත්ත ලස්සන වෙනස්කම් ගැන තිබුණ මතකය දැන් නැහැ. ඒ නිසාම දැන් මෙයාලා හිතනවා මේ වගෙ මහ අමුතු දේවල්......

ඇයි එයාට මං වගේ හිතන්න බැරි?
මට පුලුවන්නම් ඇයි එයාට බැරි?

ඔන්න ඉතින් රණ්ඩු පටන් ගන්නවා.....:)



ඉතින් දෙයියනේ ග්‍රහලෝක දෙකක ඉඳන් ආව දෙන්නෙක් එකම විදියට හිතන්නෙ කොහොමද? පෘථීවියට ගොඩබැස්සත් හරි, මෙයාලට ඒක අමතක වුණා....ඔන්න එදා ඉඳන් ගැහැණු පිරිමි අතර රණ්ඩු...මොකක් නිසාද ඉතින්?......උත්තරේ හරිම සරලයි....

එයා ආවෙ වෙනම ග්‍රහලෝකෙකින් බව මෙයාට අමතක නිසා!

වැඩිය දිගට ලිව්වම කම්මැලි නිසා පළවෙනි කොටස ගෙඹි පැටියා මෙතැනින් නවත්තනවා ඔන්න.....ඔයාලගෙ අදහසත් තියලා යන්නකෝ, හොඳද....ගෙඹි පැටියයි හප්පියි වගේ එකිනෙකාගේ වෙනස් කම් වලට ආදරේ කරන්න, එතකොට ඔය පුංචි පුංචි ප්‍රශ්න ගොඩාක් අඩුවෙලා යාවි...



4 දෙනෙක් මේ ගැන කතා කළා:

මකුළු පැංචි (මංචි) said... Reply To This Comment

හිකිස්.. අහ්හ්.... මෙයත් mens from mars women from venus කියවලා වගෙයි.. (හිකිස්...ගෙම්බයි හප්පියි... :D)

ගෙඹි පැටියා said... Reply To This Comment

හරියට හරි මකුළු පැංචි....ජෝන් ග්‍රේ මහත්තයාගේ "Men Are from Mars, Women Are from Venus" පොතෙන් තමයි ගෙඹි පැටියට මේක හම්බුවුණේ. ඒක හරි අපූරුයි නොවැ....:)

අනිත් අයියලා අක්කලාත් හොයාගෙන කියවන්ට...හිතට ගන්න දෙයක් තියෙද බලන්ට...

ඉස්තුතියි මකුළු පැංචියෙ මේ පැත්තෙ ආවාට! :)

Roshanherath said... Reply To This Comment

වටිනා පොතක්.. pdf එක හොයා ගත්තා.. ඒත් තවම කියවලා ඉවර කරන්න බැරි වුනා..

ගෙඹි පැටියා said... Reply To This Comment

@RoshanHerath හ්ම්....බොහොම හොඳයි යාලූ

Post a Comment

සිංග්ලිෂ් වලින් කමෙන්ට් කරන අය මේක ක්ලික් කරන්න.