2011/07/15

ඇයි එයා මං වගේ හිතන්නෙ නැත්තෙ? - 02

අක්කලා අයියලාට මතක ඇති ගෙඹි පැට්ටා කලින් කොටසෙදි ලස්සන කතාවක් කිව්වා. මතක නැත්නම් මෙතැනින් ආයෙම බලන්නකෝ, හොඳද...

ගෙඹි පැට්ටා ඔයාලට කිව්වනෙ. අක්කලා ආවෙ වෙනම ලෝකෙකින්. අයියලා ආවෙ වෙනම ලෝකෙකින්. ඉතින් අයියලා අක්කලා වෙනස්. මුල් කාලෙදි නම් ඒ වෙනස්කම් වලට ආදරේ කරනවා. ඒත් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවලුනේ...බක බක බක........අයියලා හිතනව  අයියලා විදියට අක්කලා හිතන්න ඕන කියලා. ඒ විදියටම දැනෙනව කියල. අක්කල හිතනව අයියලා අක්කල හිතන විදියට හිතන්න ඕන කියලා. ඒ විදියට දැනෙන්න ඕන කියලා. ඉතින් ඔන්න එහෙම නැති උනාම.......රණ්ඩු පටන් ගන්නවා.




ඔහොම රණ්ඩු ඇතිවෙන්න තවත් හේතුවක් තමයි අපි අනිත් කෙනා මේ විදියට හැසිරෙන්න ඕන කියල කලින්ම උපකල්පනය කරගෙන ඉන්න එක. ඉතින් ඒක එහෙම නොවෙනකොට හිත රිදෙනවනෙ. නේද. ඒත් පළවෙනි කොටසෙදි ගෙඹි පැට්ටා කීව කතාව දන්න අක්කලා අයියලා නම් තරහ නොගෙන දුක නොහිතා ඉවසීමෙන් තේරුම්ගන්න උත්සහ කරාවි කියල ගෙඹි පැට්ටා හිතනවා.

දැන් අපි කතාවට බහිමුකෝ.....


ගෙඹි පැටිය කිව්වනෙ අක්කලා අයියලා එකිනෙකාගෙන් වෙනස් කියලා හිතන විදියෙන් වුණත්. මේ කොටසෙන් කියන්න හිතුවෙ එහෙම පුංචි වෙනස්කම් ටිකක් ගැනයි.

අක්කලාගෙන් තියෙන එක චෝදනාවක් තමයි මේ අයියලා එයාලා කියන දෙයකට හරියට ඇහුම්කන් දෙන්නෙ නෑකියන එක. මොකක් හරි කියපු ගමන් ඒකට විසඳුමක් දෙන්න හදනව මිසක්කා, අක්කා මොකක්ද කියන්නෙ, ප්‍රශ්නෙ මොකක්ද කියල අහගෙන ඉන්නෙ නැහැලු. අක්කලා කියන දේ ටිකක් වෙලා අහගෙන ඉන්නවා. ඉන්පස්සෙ උපකල්පනය කරනවා “ආ මෙන්න මේකයි වෙලා තියෙන්නෙ“ කියලා, ඉන්පස්සෙ ඒකට විසඳුමක් දෙන්නයි හදන්නෙ. ..මේක අපේ අයියලාගෙ හැටි. අයියා මෙහෙම කරන්නෙ අක්කා ගැන ආදරෙන් බවත් අක්කා මතක තියාගන්න ඕන. “ඔයා මම කිනදේ අහගෙන ඉන්නෙ නෑ“ කියල කොච්චර කිව්වත් වැඩක් නෑ. අයියා බලන්නෙ ටුක් ගාලා විසඳුමක් දීල අක්කව සතුටු කරන්නයි. ඒත් ඒ වෙලාවෙ අක්කට විසඳුමකටත් වඩා ඕන කරන්නෙ අහගෙන ඉන්න කෙනෙක් බවත් අයියල හිතන්න ඕන. 



දැන් අනිත් පැත්තත් බලමුකෝ. අයියලාගෙන් අක්කලාට තියෙන චෝදනාව තමයි අක්කලා කොයිවෙලාවෙත් අයියලාව වෙනස් කරන්න, පාලනය කරන්න උත්සහ කරනවා කියන එක. අක්කා කෙනෙක් අයියා කෙනෙකුට ආදරේ කරනකොට ඒ අක්කා නිතරම හිතනවා අයියාට උපදෙස් දීලා කරන දේවල් හරියට කරන්න සහය වෙන්න ඕන කියලා. ඒක එයාගෙ වගකීමක් කියලා. ඉතින් ඔන්න අක්කා අයියට උපදෙස් දෙන්න පටන් ගන්නවා. අයියා කොච්චර එපා කීවත් අහන්නෙම නෑ, අක්කත් අයියට උදව් වෙන්න, උපදෙස් දෙන්න අවස්ථාවක් ලැබෙනකල් බලා ඉන්නෙ කොයි වෙලේද කියලා. අක්කා හිතන්නෙ අයියාට අක්කා උදව් වෙනව කියලයි. ඒත් අයියාට හිතෙන්නෙ අක්කා අයියව පාලනය කරන්න හදනව කියලයි. හැබැයි අයියට ඒ වෙලාවෙ ඕන කරන්නෙ උදව්වකටත් වඩා අනුමැතියක්, අදහස පිළිගැනීමක් බවත් අක්කල හිතන්න ඕන.

හොඳයි, දැන් ඇයි මේ අයියල කොයි වෙලෙත් විසඳුම් දෙන්නම හදන්නෙ? ඇයි අක්කලා කොයිවෙලෙත් අයියලට උපදෙස් දෙන්නම හදන්නෙ?

දැන් ආයෙම අපි අපේ පරණ කතාවට යමුකෝ...

අඟහරු ලෝකෙන් ආව අයියලා......බක බක බක.......කතාව මතකයිනෙ නේද? මේ අයියලා අගය කරන්නෙ බලය, තරඟකාරීත්වය, කාර්යක්ෂමතාවය, ජයග්‍රහණ වගේ දේවල්. අයියලා නිතරම බලන්නෙ තමන්ගෙම ශක්තියෙන් යමක් කරගන්නයි. වෙනකෙනෙකුගෙන් අහන එක එයාලට හරියට මදිපුංචි කමක් වගේ. නැට්ටටම තදවෙලා කරගන්නම බැරිනම් විතරයි තව කෙනෙකුගෙ සහය පතන්නෙ. ඒ හැටි. ඒවගෙම අයියලා සාපේක්ෂව වැඩියෙන් කැමති ද්‍රව්‍යමය දේවල් වලට. වාහන, කම්පියුටර්, ෆෝන් වගේ දේවලට අයියල ආසයිනෙ නේද? ඉතින් තමන්ම දෙයක් කරාම තමයි අයියල තමන් ගැන සතුටු වෙන්නෙ. මොකක් හරි කරනකොට ළඟට ඇවිත් අක්කල කුනු කුනු ගාන්න පටන්ගත්තම සමහර  අයියලට තද වෙන්නෙ ඒ නිසා වෙන්න ඇති. තමන්ය පුලුවන් කම තියෙද්දි වෙනකෙනෙකුගෙන් අහන එක තමන්ගෙ දුර්වල කමක් කියලයි එයාලා හිතන්නෙ. “මට පුලුවන්කම තියෙද්දි මොකටද මම වෙන කාවවත් ගාවගන්නෙ?“


දැන් මම කිව්වනෙ අයියලාට නැට්ටටම තදවෙලා මොකක් හරි කරගන්නම බැරිනම් තමයි වෙන කෙනෙකුගෙන් අහන්නෙ. ඒ අහන්නෙත් අයිය ගරුකරන විශේෂ කෙනෙකුගෙන් තමයි. දැන් හිතාගන්න පුලුවන් නේද “කෙනෙක් තව කෙනෙක්ගෙන් උදව්වක් ගන්නෙ බැරිම තැනයි“ කියල හිතන අයියලා, අක්කල මොකක් හරි කිව්ව ගමන් අහගෙන ඉන්නෙ නැතිව මැදින් පැනලා විසඳුමක් දෙන්නෙ ඇයි කියල? අයියා හිතනවා අක්කාට විසඳුමක් දෙන එක අයියට ගෞරවයක් කියලා.ඇයි ඉතින් විසඳගන්න බැරිව ඉන්නව කියලනෙ හිතන්නෙ. ගෙඹි පැටියත් හරි ආසයි හප්පිට ඉක්මණින් විසඳුමක් දීල වැඩර් වෙන්න, හප්පිට ආදරේ බව පෙන්වන්න. පැහැදිලිද?

දැන් සිකුරු ලෝකෙන් ආව අක්කලා ගැන බලමුකෝ.....අක්කලා ගොඩක් අගය කරන්නෙ ආදරය, නිතර කතා බහ කරන එක, ලස්සන, බැඳීම් වගේ දේවල්. අක්කලා ගොඩක් කැමති අනිත් අයත් එක්ක එකිනෙකාට උදවු කරගනිමින්, බැඳීම් පවත්වාගෙන යන්නයි උවමනාව. දැන් ඔය අයියලා අලුත් ෆෝන් එකක් ගත්ත කියමුකො....අක්කලා ගොඩක් වෙලාවට ඒකෙ ලස්සන ගැන මිසක් ඒකෙ වැඩ කෑලි ගැන එච්චර උනන්දු වෙන්නෙ නැහැනෙ. නේද.  කතා කරන එක තමයි වැදගත්ම දේ. අනිත් අයට තමන්ගෙ දේවල් තොරතෝංචියක් නැතිව කියන එක, අත්දැකීම් බෙදා ගන්න එක අක්කලාට වටිනවා. ඔය ළිඳ ළඟ සංගම් එහෙම දන්නවනේ....බක බක බක.......ඒවගෙම අහන්නෙත් කලින් අනිත් අයගෙ උවමනා එපා කම් හොයල උදව් වෙන්න හදනවා. උදව්වක් දෙන එක, ඉල්ලන එක දුර්වල කමක් කියල අක්කලාට හිතෙන්නෙ නැහැ.  ඉතින් හිතාගන්න පුලුවනි නේද ඇයි අක්කලා නිතරම අයියලාට උපදෙස් දෙන්න හදන්නෙ කියලා! හප්පිත් නිතරෝම ගෙඹි පැටියට උපදෙස් දෙනවා ඉවරයක් නෑ, ආදරේට...ගෙඹි පැටියට හිතුණේම හප්පි ගෙඹි පැටියව පාලනය කරන්න හදනවා කියලයි....පැහැදිලිද?

දැන් මේක විසඳගන්නෙ කොහොමද? දෙන්නා දෙවිදියක්නේ? හැබැයි විසඳුම සරලයි නේද!

අක්කලා අයියලාට උපදෙස් දෙන එක වෙනුවට ඒක යෝජනාවකින් කරන්න. “මෙහෙම කරන්න“ කියනවට වඩා “මෙහෙම කළොත් මොකෝ“ කියල ඇහුවොත්, අයියලාට අක්කලා එයාලාව පාලනය කරන්න හදනව කියල හිතෙන එකක් නෑ.

අයියලා අක්කලාට ඇහුම්කන් දෙන්න. “අද හරි මහන්සියි, මට ඔෆිස් එකේ වැඩ වැඩියි“ කියලා අක්කෙක් කීවම “එහෙනම් අපි වෙන එකක් හොයමු“ නොකියා, ළඟින් ඉඳගෙන ටිකක් ළඟට කරන් හිටියොතින්, අක්කලාට හිතේවි එයාලට ඇහුම්කන් දෙන්න කෙනෙක් ඉන්න බව.

මේ දේවල් සීයට සීයක්ම එහෙමම නොවෙන්න පුලුවනි. හැබැයි, පුංචි වතුර බිඳ බිඳ එකතුවෙලා ගඟක් මුහුදක් හැදෙනවා වගේ පුංචි පුංචි හිත් නොහොඳකම්, හිතේ කහට ලොකු ප්‍රශ්නයක් වෙනකල් වර්ධනය වෙන්න නොදී වළකාගන්න එක හොඳයි නේද?....අපේ හිතේ තියෙන්නෙ වටවල කහට විතරයි.....බක බක බක....

ඉතින් ගොඩාක් ලියවුණු නිසා ගෙඹි පැට්ටා දෙවෙනි කොටස මෙතැනින් නවත්තනව හොඳේ. Men are form Mars, Women are from Venus පොත සම්පූර්ණයෙන් කියවන්න ආස අයියලා අක්කලාට බොහොම ලේසියෙන් අන්තර්ජාලයෙන් PDF එකක් විදියටත් ගන්න පුලුවනි.

අදහස් පහළින් තියල යන්නකො හොඳද.....

ළඟදි බඳිනවද?




ගෙඹි පැටියටත් ඉන්න ගමන් හරි හරි දේවල් තමයි කල්පනා වෙන්නෙ. ගැහැණියක් හැටියට ලබන උතුම්ම තැන මව් පදවිය කියල කියනවනේ. නේද! ඉතින් පුංචි දුවෙක් විදියට උපදින අපේ චූටි අක්කලා බිරිඳක් විදියට ආයෙමත් අලුත් ජීවිතයකට හුරු වෙනවා, අලුත් උපතක් ලබනවා. ආයෙමත් අක්කලා පුංචි පැට්ටෙකුට අම්මා කෙනෙක් වෙනවා. ඒ තවත් අලුත් ජීවිතයක්. අලුත් උපතක්.


මව් පදවිය කොයිතරම් උතුම් වුණත්, හොඳ බිරිඳක් නොවී ලබන මවු පදවියට සමාජ වටිනාකමක් ලැබෙන්නෙ නැහැ. එහෙම අය නිතරම සමාජයේ ගැරහීමට, අවමානයට ලක් වෙනවා. ඒකත් හරි පුදුමයි නේද? ඒත් අම්මෙක්නෙ!

ඉතින් දැන් ගෙඹි පැට්ටා කියන්න හදන්නෙ ඒ ගැන නෙමෙයි. කාලයක් අයියා කෙනෙකුට ආදරේ කරලා හරි එහෙමත් නැත්නම් අම්මලා, තාත්තලා කතා කරලා හරි විවාහ වෙන්න ඉන්න අක්කලාට ටිකක් හිතන්න ඕන පැත්තක් ගැන කියන්න ගෙඹි පැට්ටාට හිතුණා. හොඳ බිරිඳක් වෙන්න හිතේ අභ්‍යන්තර ගතිගුණ හොඳ වෙන්න ඕන වගෙම ආශ්‍රය කරන අය අතරෙත් නම තියාගෙන ඉන්න එපැයි නේද!




ගෙදර ලොක්කා තාත්තා උනාට ඉතින් ගෙදර බුදුන් විදියට සලකන්නෙ අම්මානේ. ඒ ඇයි කියල ඉස්සරහදි කතා කරමුකෝ. ඉතින් ගෙඹි පැට්ටා නම් තවම තනිකඩයා, හැබැයි ගෙඹි පැටියගෙ අක්කලා අයියලා දිහා බැලුවම ගෙඹි පැටියට හුඟක් දේවල් තේරුණා.



අලුත බැඳපු මනමාලිට හාල් පතක් ගරාලා.....ඒකාලෙ අතුරු මිතුරු සෙල්ලම මතකයිනෙ. මනමාලිට හාල් ගැරිල්ල කොහොම උනත් ඉතින් ජැන්ඩියට උත්සවයක් එහෙම තියලනෙව අපේ අයියලා අපේ අක්කලාව එක්කගෙන එන්නෙ. මෙහෙම ඇවිත් අක්කලාගේ ගෙදර උදවිය අක්කාව අයියලාගෙ ගෙදර උදවියට භාර දීලා යන්න යනවා. ඉන්පස්සෙ අක්කා ඒ අලුත් ජීවිතයට හුරුවෙන්න ඕන. සමහර විට බඳින්න කලින් හිතාන උන්නු තත්ත්වෙට වඩා ටිකක් වෙනස් විදියක දෙයක් අත්විඳින්න ලැබුණොත්, අපේ අක්කලා කලබල වෙන්න එපා. එහෙම තමයි , ඒක සාමාන්‍යයි. 


කොහොම වුණත් අලුතින් ලැබුණු අම්මා තාත්තාගේ හිත මුල ඉඳලම දිනාගන්න එක වටිනවා. නරකකට නෙමෙයි, එතකොට ප්‍රශ්න අඩුයි. අක්කාට දැන් අම්මලා දෙන්නෙක් තාත්තලා දෙන්නෙක් ඉන්නවා නෙව. මේව වැදගත් ද බලන්න. මේ මූලික දේවලි ටිකක්. අක්කලා තව හිතල බලන්නකො. 

  • අයියට කලින් නැගිටින්න
  • අයියට පස්සෙ නිදාගන්න (හැබැයි ඉතින් අයියා ගෙඹි පැටිය වගේ Night Duty නම් මේක වෙනස් )
  • මොකක් හරි කරන්න කලින් අයියගෙන් අහන්න - මොකද අහන්නෙ නැතිව තනි තීරණයට වැඩ කළාම අයියටත් තරහ යාවි. අනික අයියගෙ ගෙදර අයත් අක්ක ගැන වැරදියට හිතාවි හරිම හිතුවක්කාර කෙල්ලක් කියල, නේද...ඉතින් දෙන්නත් එක්ක පොඩි චැට් එකක් දාලා තීරණ ගන්න.
  • නිතරම හොඳ දේවල් කතා කරන්න, අක්කලාට කතාවෙන් කරගන්න බැරි දෙයක් නෑ හරියට නුවණ පාවිච්චි කළොත්, අයියගෙ කෙනෙකුගෙ වරදක් පෙන්වනවනම් පරිස්සමින් කරන්න හොඳේ, විශේෂයෙන් අම්මගෙ. අයියලා අම්මලාට හරි ආදරෙයිනෙ. වැඩිහිටයන් වෙනස් කරන්න අපිට අමාරු නිසා ඒ අය අවුරුදු 50ක් 60ක් හුරුවුණු දේනෙ කියල හිතල ඉවසන එක තමයි හොඳම දේ කියල ගෙඹි පැටියට හිතුණා....
  • අයියා ගරු කරන අයට ඒ විදියටම ගරු කරන්න. ඒ කීවෙ දෙමව්පියො, ගුරුවරු හෝ වෙනත් වැඩිහිටි අය එහෙම. එතකොට ඒ අයත් අක්කාට එයාලගෙම දුවෙක් විදියට සලකාවි, ගරු කරාවි. මේක ඔය ඉස්සර කියන නැන්දම්මා-ලේලි ලෝක යුද්ධයට පාර වහනවා...බක..බක..බක..දැන් නම් ඕව වැඩිය නැහැ ගෙඹි පැටිය හිතන්නෙ.
  • කම්මැලි වෙන්න නම් එපා හොඳේ. කම්මැලි නැතිව ආසාවෙන් තියෙන වැඩ ටික කරන්න.
  • ඒ වගේම තමන් කරනවා වගෙම අනිත අය ලවා වැඩ කරවා ගන්නත් අක්කලා දක්ෂ වෙන්න ඕන. උඩින් කීව දේවල් තියෙන අක්කා කෙනෙකුට එක වචනයෙන් ඕන කෙනෙක් උදව් කරාවි, නේද....
  • මුලින්ම යන කාලයේදී අයියගෙ ගෙදර සේවකයො ඉන්නවානම් ඒ අයටත් වැඩිය පාට් නොදා ශේප් එකේ ඉන්න. පස්සෙ බැරියැ ඒවා.
  • හැමෝටම හොඳින් සලකන්න. ගෙදරට කවුරු හරි ආවම තේ එකක් හදන්නද කියල අහන්න අමතක කරන්නෙපා. මිනිස්සුනේ....ඒ නිසා ඒවගෙ පොඩි පොඩි ට්‍රික්ස් දාන්න වෙනවා. නැත්නම් යනගමන් කියාවි අපෝ අර කෙල්ල ගෙදරට එන කෙනෙකුට තේ උගුරක්වත් දෙන්නෙ නැහැනෙ කියලා...එහෙම තමයි ලෝක සොබාවේ....බක බක බක.....
  • ඒවගෙම අයිය හම්බුකොරනදේ අරපරිස්සමින් පාවිච්චි කරන්නත් ඕනා. අපේ ගොඩාක් අක්කලා නම් දැන් Employed නිසා My car My Patrol නෙ. එහෙම නැති අක්කලාටයි මේක වැඩියෙන්ම අදාල.
මේ ටික ගෙඹි පැටියට කලින් බුදු හාමුදුරුවො ඒ කාලෙ විවාහ වෙන්න යන කුමාරිකාවකටයි කියා දීල තියෙන්නෙ. අපේ ලස්සන අක්කලාටත් මේකෙන් ගන්න දෙයක් තියේවි කියල ගෙඹි පැටිය හිතනවා.තව මේ ලිපියෙ අඩු පාඩු එකතු වෙන්න ඕන දේවල් එහෙම තියේ නම් පහළින් සටහනක් දාන්නකො...ගෙඹි පැටියා වැඩියෙන්ම ලියන්නෙ අක්කලාට කියල ගෙඹි පැටියට හප්පි හොඳටෝම බනිනවා...ගෙදර බුදුන් වෙන අක්කලාට තමයි ඉතින් ගෙඹි පැට්ටා වැඩියෙන්ම ලිව්වෙ...බලමුකො ඉස්සරහට අයියලාටත් වෙඩි තියන්න පටන් ගන්නම්කො.....බක බක බක....


2011/07/14

අපි කොතැනද? - 2

අක්කලා අයියලා එකට වාසය කරන එක ගැනත් බුදු හාමුදුරුවො හරි හරි දේවල් දේශනා කරල තියෙනව..ඔන්න දැන් ගෙඹි පැටිය කියන්න යන්නෙ ඒ ගැනයි.



දෙන්නෙක් එකට ඉන්නකොට ඒ දෙන්නා මේ කොටස් හතරෙන් එකකට අයිති වෙනවාලු...මෙතන මේ මළකඳ කියන්නෙ පණ යන එකට එහෙම නෙවෙයි...ගුණවත් කම මැරුණු කියන අදහසින්....

මළකඳක්, මළකඳක් සමග වාසය


අෆ්ෆා....ගෙදර මෝචරියක් වගේ තියේවි...මේ කියන්නෙ දෙන්නම කතාකරලා වැඩක් නෑ, හරි නරකයි, හික්මීමක් නෑ, ලෝබයි, කිසිම ආගමක් ධර්මයක් අනුගමනය කරන්න කැමතිනෑ...මරු ඩබල....


මළකඳක්, දෙවිදුවක් සමග වාසය

මෙතනදි අක්කලා හරිම හොඳයි...ඒකට අයියලා....එපා වෙනව අනේ....කිසිම හික්මීමක්, සීලයක් නෑ.....හරිම ලෝබයා....දෙලොවටම නෑ...

දෙවියෙක්, මළකඳක් සමග වාසය

අයියලා හරිම හොඳයි....ඒත් අක්කලා.....අපෝ.....කතාකරල වැඩක් නෑ....කාටවත් මුකුත් දෙන්න කැමතිනෑ....කිසිම නිවිච්ච කමක් නෑ....උඩ කීව නරක අයියල වගෙමයි....

දෙවියෙක් දෙවිදුවක් සමග වාසය
මෙන්න couple....දකින්නත් ආසයි....හරිම හොඳයි, දෙන්නගෙම කිසිම ලෝබ කමක් නෑ, අනිත් අයටත් උදව් කරගෙන හොඳින් ජීවත් වෙනවා...දෙන්නා අතරෙ උනත් හරි ආදරණීය කතා තමයි තියෙන්නෙ.....මෙහෙමෙ දෙන්නෙක් ඉන්න කොට ඉන්න හරි ලේසියි. කොච්චර හොඳින් ඉන්නවද කිව්වොත් දකින මිනිස්සු ඉරිසියා කරනවලු දෙන්නට....මරණින් මතු දෙවිලොව උපදින්නේය කියලත් කියල තිබුණා....

ඔන්න ඔහොමයි වැඩේ...

මොකද කියන්නෙ....තව එකතු කරන්න දේවල් තියේ නම් දැන් ඔයාලගේ අවස්ථාවයි.....

අපි කොතැනද?



ඔන්න දැන් ගෙඹි පැටියා ඔයාලාට කියන්න හදන්නෙ තවත් හරි අපූරු කාරණාවක් ගැනයි.

ගෙඹි පැටියට පුංචි කාලෙ ඉඳන් වැඩියෙන්ම හිටියෙ ගැහැණු යාලුවො තමයි. ඉතින් මේ පුංචි ගැහැණු යාලුවො කවදා හරි දවසක බිරින්දෑවරු, අම්මලා වෙනවානේ. පුංචි කාලෙ ඉඳන් හැදුණු වටපිටාව, ජීවන අත්දැකීම් වගෙම සංසාර පුරුදුත් ගැහැණියක් විදියට ලබන මේ අලුත් භාරදූර තනතුරු වල සාර්ථකත්වයට බලපානව නේද කියල ගෙඹි පැටියට හිතුණා.

අපේ අයියලා තමන්ගෙ බිරින්දෑවරුන්ට එක එක විදියට අමතනවානේ..පැටියා, මැණික, සුදූ, නෝනා...අප්පේ...බලන්ඩ එපායැ...ප්‍රසිද්ධියෙ කියනකොට අවුල් වගෙ උනාට ඉතින් මේවා කොයි කවුරුත් පාවිච්චි කරන ආදරණිය ආමන්ත්‍රණ තමයි. අපේ සීයලා, ආතලා මැණිකේ කියලා ආච්චිඅම්මලාට කතාකරනකොට අහන්නත් කොච්චර ආසද... ඔය නම් අතර “මේ ඇහුණද“, “ඒක නෙමෙයි“ වගේ මහ අමුතු නම්එහෙමත් තියෙනව නොවැ....පස්සෙ පස්සෙ “ළමයින්ගෙ අම්මා“ වගේ තමන් කවුද කියල මතක් කරල දෙන නම් වලිනුත් කතාකරනවා....බක...බක...බක....

කොහොම කතා කළත් ඔය බිරිනදෑවරු වර්ග හතකට බෙදන්න පුලුවන්. හැබැයි මේක ගෙඹි පැටිය එහෙම නෙමෙයි මෙහෙම බෙදුවෙ...අනේ මාව අල්ලාගන්න එපා....මේක බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සප්ත භාර්‍ය සුත්‍ර දේශනාවෙදි තමයි ඕන්න සඳහන් කරල තියෙන්නෙ...


වධක භාර්‍යාව
අප්පේ...නම ඇහුව ගමන් තේරෙනවනෙ....මෙයාගෙ හිත හරි දරුණුයිලු...තමන්ගෙ ස්වාමියාට කිසිම අනුකම්පාවක් නෑ. එයා ඇරෙන්න තව තව අය හොයාගෙන යනවා. තමන්ගෙ කෙනා පහත් කරලයි සලකන්නෙ. කොයිවෙලෙත් වද දෙනව ඉවරයක් නෑ....අපේ අක්කලා නම් මෙහෙම අය නෙමේ බව ගෙඹි පැටියා දන්නවා...

චෞර භාර්‍යාව
මෙයත් නරක කෙනෙක්. මෙයාට චෞර කියන්නෙ හොරකමේ මංකොල්ල කෑමෙ එහෙම යන හින්ද නෙමෙයි..තමන්ගෙ මනුස්සයා මහන්සිවෙලා හම්බකරනදෙයින් රුපියලක් හරි එයාට හොරෙන් ගන්නවානම් අන්න ඒ අක්කා චෞර භාර්යාවක්...මෙහෙම අයත් අපේ අක්කලා අතර නෑ කියල ගෙඹි පැටියට හිතුණා...
ස්වාමි භාර්‍යාව
මෙයත් හොඳ නැති කෙනෙක් විදියටයි හඳුන්වන්නෙ. ඔයාලා දන්නවනෙ. අපි ජීවත් වෙන්නෙ පීතෘ මූලික සමාජයක. ගෙදර බුදුන් අම්මා උනාට තාත්තා තමයි ගෙදර ලොක්කා. ඈ...එතකොට තාත්තා බුදුහාමුදුරුවන්ටත් වඩා ලොකුද?....අම්මා ගෙදර බුදුන් කියල හඳුන්වන්නෙ වෙනත් කාරණා නිසානෙ..ඒ ගැන පස්සෙ දවසක කතාකරමුකො.....කොහොම හරි මේ ස්වාමි භාර්යාව කියන්නෙ හරිම කම්මැලි, කෑමට කෑදර, ගෙදර කිසිම වැඩක් කරන්න කැමති නැති, නපුරු, හරි ඉක්මණින් තරහ ගන්න, නපුරු වචන කියන...ඒ වගෙම තමන්ගෙ ස්වාමිපුරුෂයාව යටකරගෙන, යටත් කරගෙන ඉන්න හදන....Lord පාට් දාන...අක්කා කෙනෙකුටයි. මේ වගේ අයත් අපේ අක්කලා අතර නැතුව ඇති.
මාතෘ භාර්යාව 
අම්මා කෙනෙක් දරුවෙකුට කොයිතරම් ආදරේද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. දරුව ගෙඹි පැටියෙක් උනත් උනහපුලුපැටියෙක් උනත් මොකෙක් උනත් අම්ම කෙනෙකුගෙ ආදරේ වෙනසක් වෙන්නෙ නැහැ....ඒ වගේ තමන්ගෙ ස්වාමි පුරුෂයාට හැම තිස්සෙම හිතවත්ව කටයුතු කරන, කරුණාවෙන් අනුකම්පාවෙන් ආදරෙන් බලන, පුතෙක්ව බලාගන්න අම්මා කෙනෙක් වගේ ආදරෙන් සලකන, එයා හම්බුකොරන දේ පරිස්සමින් පාවිච්චි කරන අක්කා කෙනෙකුටයි මාතෘ භෘර්යාව කියන්නෙ. අපේ අක්කලත් අයියලාට මේ වගේ සලකනවා ඇති කියල ගෙඹි පැටිය හිතනවා...
භගිනි භාර්‍යාව
භගිනි කියන්නෙ සොහෝදරියට, නංගිට. ඉතින් අක්කා කෙනෙක් අයියාට පුංචි නංගියෙක් අයියා කෙනෙක් බලාගන්නවා වගේ ගෞරවයෙන්, ලැජ්ජාවෙන්, අයියා කියනදේ අහල ඒ අනුව වැඩ කරනවානම් ඒ වගේ අක්කා කෙනෙකුට තමයි භගිනි භාර්යාව කියන්නෙ...

සඛී භාර්‍යාව

ගෙඹි පැටියා වැඩියෙන්ම කැමති මෙන්න මෙයාටයි. යාලු ෆිට් එකේ ඉන්න භාර්යාවකට....බක...බක...බක....සඛී එහෙමත් නැත්නම් සකි කියන්නෙ යාලුවාටනේ....සකිසඳ එළියස්...කාලෙකින් හම්බුවුණ යාලුවෙක් දැකලා වගේ අයියව දැකලා නිතරම සතුටුවෙන, හොඳ ගති පැවතුම් තියෙන, හරිම නිවුණු - හික්මුණු, ස්වාමි පුරුෂයා තමන්ගෙ දෙවියන් කියල හිතන අක්කා කෙනෙකුටයි මෙහෙම කියන්නෙ. ෂෝක් නේද.....දෙවියෙක් කිව්වට ඉතින් පූජා වට්ටි තියන්න දුං අල්ලන්න එහෙම යන්න එපා....බක..බක..බක....ගෞරවය, කීකරු කමයි ඒකෙන් අදහස් කරන්න ඇත්තෙ....

දාශි භාර්‍යාව
මෙයා හුඟාක් ඉවසීම තියෙන කෙනෙක්. කොටින්ම අයියලා “දෙනව දෙකක් මම කෝටුවක් අරන්“ කිව්වත්....මං කිව්වෙ මේ, ගහනව කිව්වත් තරහගන්නෙ නැති, නිවුණු, කීකරු අක්කා කෙනෙක් තමයි දාසී භාර්යාව...

කොහොමද වැඩේ.....

ඔතන කීව ඔය වධක භාර්‍යාව, ස්වාමි භාර්‍යාව, චෞරී භාර්‍යව කියන ලක්ෂණ තියෙන අය අනිවා අපායෙ සීට් බුක් කරගන්නවා ගන්නවාවාවාවාවාමයි......

මාතෘ භාර්‍යාව, භගිනි භාර්‍යාව, සඛි භාර්‍යාව හා දාශි භාර්‍යාව කියන හොඳ ලක්ෂණ තියෙන අයට දිව්‍යලෝකෙන් Request එකක් ලැබෙනවා ලැබෙනවා මයි...

අපායෙ දිව්‍ය ලෝකෙ යන එක කොහොම උනත් අපි මේ ලෝකෙ හොඳින් ජීවත් වෙලා ඉන්න එපැයි නේද? ඒනිසයි මේ ටික ගෙඹි පැටියා අක්කලා අයියලාට කියන්න හිතුවෙ....දැන් මෙතන අක්කලා ගැන විතරක් කිව්වා කියල මං එක්ක තරහවෙන්න එපා හොඳේ.....අයියලාටත් එක්කම තමයි කිව්වෙ හොඳේ....ඔය කරුණු ආදේශ කරගන්න තම තමන් ඉන්නෙ කොතනද කියලත් අපිට දැනගන්න පුලුවනිනෙ එතකොට, නේද!.


අක්කලාට ගෞරවයෙන්, ආදරයෙන් සලකන්න අයියලත් හිතට ගන්න ඕනා..

තව කියන්න දේවල් ගොඩයි....දැනටමත් හුඟක් දිගට ලියවුණ නිසා ගෙඹි පැටිය මෙතනින් නවතිනවා...අනිත් දේවල් ගැන ආයෙ දවසක කියන්නම්කෙ හොඳද...හප්පිත් කියනව ගෙඹි පැටියට දැන් ලිව්වා හොඳටෝම ඇතිලු....ක්‍රියාවට නගන්නලු....බක බක බක......



මොකද කියන්නෙ...පහළින් අදහසක් තියලම යන්නෝ......



2011/07/12

ඇයි එයා මං වගේ හිතන්නෙ නැත්තෙ? - 01

ඇයි එයා මං වගේ හිතන්නෙ නැත්තෙ?
මට පුලුවන් නම් ඇයි එයාට බැරි එහෙම කරන්න?

ඔයාගෙ හිතටත් එහෙම ප්‍රශ්න ඇවිත් තියෙනවද? එහෙනම් මේ ලියන්නෙ ඔයාට වෙන්න පුලුවන්. ගණන් ගන්න එපා....හැමෝටම එකසැරයක් හරි මෙහෙම හිතිලා තියෙනවා කියලා ගෙඹි පැටියට හිතුණා...ඒක බොහොම සාමාන්‍යයි....

ඔයාට එයාව මුලින්ම මුණගැහුණු හැටි, අඳුනගත්ත හැටි, ඉන්පස්සෙ ටිකෙන් ටික දැන් ඉන්න තැන වෙනකල් ආපු හැටි..ඩිංගක් මතක් කරල බලන්න...ඉස්සර නම් එයා හරි හොඳයි....මම ආස හැමදේම එයා ළඟ තිබුණා...ඒත් පස්සෙ පස්සෙ ඒ දෙවල් ටිකෙන් ටික  එයාගෙන් නැති වෙලා ගියා.....


එහෙම හිතුණද? එහෙනම් ගෙඹි පැටියා ඔයාට කියන මේ මේ පුංචි කතන්දරේ අහන්නකෝ....මේක ගෙඹි පැටියට පර්යේෂණාත්මක පොතක කියවන්න ලැබුණු දෙයක්. පුහ්.....නෑ නෑ.....කම්මැලි බරපතල එකක් නෙමෙයි...ඒක හරිම ලස්සනයි. ඒ නිසාම අද ඉඳන් එයින් ගත් දේවල් සිංහලෙන් ඔයාලට ලියන්න හිතුණා.

මුලින්ම ඔයා හිතන්න ගැහැණු ආවෙ සිකුරු ග්‍රහලෝකෙන්, පිරිමි ආවෙ අඟහරු ග්‍රහලෝකෙන් කියලා....අමුතුයි වගේද? පිටසක් වල ජීවියෝ! .......නිකමට එහෙම හිතන්නකො...හොඳද.....

ඔන්න ඉතින් ගොඩාක් කාලෙකට ඉස්සර, අඟහරු වැසියෝ (පිරිමි) එයාලගෙ දුරදක්න වලින් අහස බලනකොට දකිනව මේ සිකුරු ග්‍රහලෝකය. කවදාකවත් නොදැකපු සිකුරු ග්‍රහලෝකෙ ඉඳපු (ගැහැණු) අයව  යන්තම් දැකපු ගමන්ම අඟහරු වැසියන් වෙන කවදාවත් අත් විඳල නැති හරි සුන්දර හැඟීම් ගොඩාක් එයාලගෙ හිත් වල ඇතිවෙනවා. අඟහරුවෝ සිකුරු වැසියන් ගැන ආදරෙන් බැඳිලා ඒ අයව හොයාගෙන සිකුරු ග්‍රහලෝකෙට යනවා අභ්‍යවකාශ යානාවක නැගලා! මරු නේ...!

ඉතින් මේ සිකුරු වාසීන් සිකුරු ග්‍රහලෝකෙට ගොඩබැහැපු අඟහරුවන්ව බොහෝම සුහදව පිළිගන්නවා. එයාලා තේරෙන කාලෙ ඉඳන් දැනගෙන බලාපොරොත්තුවෙන් ඉඳපු දවසක් තමයි මේ උදා වුණේ. ඒ අයගෙ හිත් අඟහරුවන් ගැන ආදරෙන් පිරෙනවා...

මේ දෙපිරිස අතර ඇතිවෙන ආදරය හරි පුදුම දෙයක් තමයි. ඒ අය එකට වාසය කිරීමෙන්, එක එක දෙවල් එකතු වෙලා කිරීමෙන්, බෙදාහදා ගැනීමෙන් හරි පුදුම සතුටක් ලබනවා. ඒ දෙගොල්ලො ආවෙ වෙනමම ග්‍රහලෝක දෙකක ඉඳල වුණාට, එයාලගෙ ඒ කිසිම වෙනස්කමක් - වෙනස්කමක් විදියට එයාලා දකින්නෙ නෑ. ඉතින් මේ අලුතින් මුණගැහුණු ග්‍රහලෝක දෙකකින් ආපු අය මාස ගණනක් එකිනෙකා ගැන ඉගෙනගනිමින්, හොයාබලමින් ඉන්නවා. අනිත් පාර්ශ්වයෙ වෙනස් අවශ්‍යතා, රුචි අරුචිකම්, චර්යා රටා හැම දෙයක්ම ඒ අය බොහොම අගය කරනවා. ඒවාට හිතින් බැඳෙනවා, ආදරේ කරනවා ඒ දැනෙන වෙනස් කම් වලට. ඉතින් මේ විදියට අවුරුදු ගණනාවක් මේ අය හුඟාක් ආදරෙන් සතුටින් ඉන්නවා.





ඉන්පස්සෙ මේ අය තීරණය කරනවා පෘථිවියට යන්න. පෘථිවියට ගොඩබැහැපු මුල් කාලෙ නම් හරිම ලස්සනයි. හුඟාක් සතුටින් ඉන්නවා. නමුත් පෘථිවියෙ වායුගෝලයෙ බලපෑමක් නිසාද මන්දා....දවසක් උදේ මේ අය නැගිටිනකොට හරි පුදුම දෙයක් වෙලා තිබුණා...! මේ අය නැගිටින්නෙ අවසිහියෙන් වගේ. ඔව්...හරිම අසාමාන්‍ය තත්වයක්. කලින් කවදාකවත් මෙහෙම වෙලා නෑ!...

දැන් අඟහරු වැසියොයි සිකුරු වැසියොයි දෙගොල්ලන්ගෙම මතකය නැති වෙලා ගිහින්! අපොයි.....! දැන් මේ දෙගොල්ලන්ට මතක නැහැ එයාලා ආවෙ වෙනමම ග්‍රහලෝක දෙකක ඉඳන් කියලා...ඒ වගෙම මේ දෙගොල්ලන් වෙනස් කියලත් දැන් මෙයාලට අමතකයි...අර කලින් අඳුනගත්ත ලස්සන වෙනස්කම් ගැන තිබුණ මතකය දැන් නැහැ. ඒ නිසාම දැන් මෙයාලා හිතනවා මේ වගෙ මහ අමුතු දේවල්......

ඇයි එයාට මං වගේ හිතන්න බැරි?
මට පුලුවන්නම් ඇයි එයාට බැරි?

ඔන්න ඉතින් රණ්ඩු පටන් ගන්නවා.....:)



ඉතින් දෙයියනේ ග්‍රහලෝක දෙකක ඉඳන් ආව දෙන්නෙක් එකම විදියට හිතන්නෙ කොහොමද? පෘථීවියට ගොඩබැස්සත් හරි, මෙයාලට ඒක අමතක වුණා....ඔන්න එදා ඉඳන් ගැහැණු පිරිමි අතර රණ්ඩු...මොකක් නිසාද ඉතින්?......උත්තරේ හරිම සරලයි....

එයා ආවෙ වෙනම ග්‍රහලෝකෙකින් බව මෙයාට අමතක නිසා!

වැඩිය දිගට ලිව්වම කම්මැලි නිසා පළවෙනි කොටස ගෙඹි පැටියා මෙතැනින් නවත්තනවා ඔන්න.....ඔයාලගෙ අදහසත් තියලා යන්නකෝ, හොඳද....ගෙඹි පැටියයි හප්පියි වගේ එකිනෙකාගේ වෙනස් කම් වලට ආදරේ කරන්න, එතකොට ඔය පුංචි පුංචි ප්‍රශ්න ගොඩාක් අඩුවෙලා යාවි...