2011/07/14

අපි කොතැනද?



ඔන්න දැන් ගෙඹි පැටියා ඔයාලාට කියන්න හදන්නෙ තවත් හරි අපූරු කාරණාවක් ගැනයි.

ගෙඹි පැටියට පුංචි කාලෙ ඉඳන් වැඩියෙන්ම හිටියෙ ගැහැණු යාලුවො තමයි. ඉතින් මේ පුංචි ගැහැණු යාලුවො කවදා හරි දවසක බිරින්දෑවරු, අම්මලා වෙනවානේ. පුංචි කාලෙ ඉඳන් හැදුණු වටපිටාව, ජීවන අත්දැකීම් වගෙම සංසාර පුරුදුත් ගැහැණියක් විදියට ලබන මේ අලුත් භාරදූර තනතුරු වල සාර්ථකත්වයට බලපානව නේද කියල ගෙඹි පැටියට හිතුණා.

අපේ අයියලා තමන්ගෙ බිරින්දෑවරුන්ට එක එක විදියට අමතනවානේ..පැටියා, මැණික, සුදූ, නෝනා...අප්පේ...බලන්ඩ එපායැ...ප්‍රසිද්ධියෙ කියනකොට අවුල් වගෙ උනාට ඉතින් මේවා කොයි කවුරුත් පාවිච්චි කරන ආදරණිය ආමන්ත්‍රණ තමයි. අපේ සීයලා, ආතලා මැණිකේ කියලා ආච්චිඅම්මලාට කතාකරනකොට අහන්නත් කොච්චර ආසද... ඔය නම් අතර “මේ ඇහුණද“, “ඒක නෙමෙයි“ වගේ මහ අමුතු නම්එහෙමත් තියෙනව නොවැ....පස්සෙ පස්සෙ “ළමයින්ගෙ අම්මා“ වගේ තමන් කවුද කියල මතක් කරල දෙන නම් වලිනුත් කතාකරනවා....බක...බක...බක....

කොහොම කතා කළත් ඔය බිරිනදෑවරු වර්ග හතකට බෙදන්න පුලුවන්. හැබැයි මේක ගෙඹි පැටිය එහෙම නෙමෙයි මෙහෙම බෙදුවෙ...අනේ මාව අල්ලාගන්න එපා....මේක බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සප්ත භාර්‍ය සුත්‍ර දේශනාවෙදි තමයි ඕන්න සඳහන් කරල තියෙන්නෙ...


වධක භාර්‍යාව
අප්පේ...නම ඇහුව ගමන් තේරෙනවනෙ....මෙයාගෙ හිත හරි දරුණුයිලු...තමන්ගෙ ස්වාමියාට කිසිම අනුකම්පාවක් නෑ. එයා ඇරෙන්න තව තව අය හොයාගෙන යනවා. තමන්ගෙ කෙනා පහත් කරලයි සලකන්නෙ. කොයිවෙලෙත් වද දෙනව ඉවරයක් නෑ....අපේ අක්කලා නම් මෙහෙම අය නෙමේ බව ගෙඹි පැටියා දන්නවා...

චෞර භාර්‍යාව
මෙයත් නරක කෙනෙක්. මෙයාට චෞර කියන්නෙ හොරකමේ මංකොල්ල කෑමෙ එහෙම යන හින්ද නෙමෙයි..තමන්ගෙ මනුස්සයා මහන්සිවෙලා හම්බකරනදෙයින් රුපියලක් හරි එයාට හොරෙන් ගන්නවානම් අන්න ඒ අක්කා චෞර භාර්යාවක්...මෙහෙම අයත් අපේ අක්කලා අතර නෑ කියල ගෙඹි පැටියට හිතුණා...
ස්වාමි භාර්‍යාව
මෙයත් හොඳ නැති කෙනෙක් විදියටයි හඳුන්වන්නෙ. ඔයාලා දන්නවනෙ. අපි ජීවත් වෙන්නෙ පීතෘ මූලික සමාජයක. ගෙදර බුදුන් අම්මා උනාට තාත්තා තමයි ගෙදර ලොක්කා. ඈ...එතකොට තාත්තා බුදුහාමුදුරුවන්ටත් වඩා ලොකුද?....අම්මා ගෙදර බුදුන් කියල හඳුන්වන්නෙ වෙනත් කාරණා නිසානෙ..ඒ ගැන පස්සෙ දවසක කතාකරමුකො.....කොහොම හරි මේ ස්වාමි භාර්යාව කියන්නෙ හරිම කම්මැලි, කෑමට කෑදර, ගෙදර කිසිම වැඩක් කරන්න කැමති නැති, නපුරු, හරි ඉක්මණින් තරහ ගන්න, නපුරු වචන කියන...ඒ වගෙම තමන්ගෙ ස්වාමිපුරුෂයාව යටකරගෙන, යටත් කරගෙන ඉන්න හදන....Lord පාට් දාන...අක්කා කෙනෙකුටයි. මේ වගේ අයත් අපේ අක්කලා අතර නැතුව ඇති.
මාතෘ භාර්යාව 
අම්මා කෙනෙක් දරුවෙකුට කොයිතරම් ආදරේද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. දරුව ගෙඹි පැටියෙක් උනත් උනහපුලුපැටියෙක් උනත් මොකෙක් උනත් අම්ම කෙනෙකුගෙ ආදරේ වෙනසක් වෙන්නෙ නැහැ....ඒ වගේ තමන්ගෙ ස්වාමි පුරුෂයාට හැම තිස්සෙම හිතවත්ව කටයුතු කරන, කරුණාවෙන් අනුකම්පාවෙන් ආදරෙන් බලන, පුතෙක්ව බලාගන්න අම්මා කෙනෙක් වගේ ආදරෙන් සලකන, එයා හම්බුකොරන දේ පරිස්සමින් පාවිච්චි කරන අක්කා කෙනෙකුටයි මාතෘ භෘර්යාව කියන්නෙ. අපේ අක්කලත් අයියලාට මේ වගේ සලකනවා ඇති කියල ගෙඹි පැටිය හිතනවා...
භගිනි භාර්‍යාව
භගිනි කියන්නෙ සොහෝදරියට, නංගිට. ඉතින් අක්කා කෙනෙක් අයියාට පුංචි නංගියෙක් අයියා කෙනෙක් බලාගන්නවා වගේ ගෞරවයෙන්, ලැජ්ජාවෙන්, අයියා කියනදේ අහල ඒ අනුව වැඩ කරනවානම් ඒ වගේ අක්කා කෙනෙකුට තමයි භගිනි භාර්යාව කියන්නෙ...

සඛී භාර්‍යාව

ගෙඹි පැටියා වැඩියෙන්ම කැමති මෙන්න මෙයාටයි. යාලු ෆිට් එකේ ඉන්න භාර්යාවකට....බක...බක...බක....සඛී එහෙමත් නැත්නම් සකි කියන්නෙ යාලුවාටනේ....සකිසඳ එළියස්...කාලෙකින් හම්බුවුණ යාලුවෙක් දැකලා වගේ අයියව දැකලා නිතරම සතුටුවෙන, හොඳ ගති පැවතුම් තියෙන, හරිම නිවුණු - හික්මුණු, ස්වාමි පුරුෂයා තමන්ගෙ දෙවියන් කියල හිතන අක්කා කෙනෙකුටයි මෙහෙම කියන්නෙ. ෂෝක් නේද.....දෙවියෙක් කිව්වට ඉතින් පූජා වට්ටි තියන්න දුං අල්ලන්න එහෙම යන්න එපා....බක..බක..බක....ගෞරවය, කීකරු කමයි ඒකෙන් අදහස් කරන්න ඇත්තෙ....

දාශි භාර්‍යාව
මෙයා හුඟාක් ඉවසීම තියෙන කෙනෙක්. කොටින්ම අයියලා “දෙනව දෙකක් මම කෝටුවක් අරන්“ කිව්වත්....මං කිව්වෙ මේ, ගහනව කිව්වත් තරහගන්නෙ නැති, නිවුණු, කීකරු අක්කා කෙනෙක් තමයි දාසී භාර්යාව...

කොහොමද වැඩේ.....

ඔතන කීව ඔය වධක භාර්‍යාව, ස්වාමි භාර්‍යාව, චෞරී භාර්‍යව කියන ලක්ෂණ තියෙන අය අනිවා අපායෙ සීට් බුක් කරගන්නවා ගන්නවාවාවාවාවාමයි......

මාතෘ භාර්‍යාව, භගිනි භාර්‍යාව, සඛි භාර්‍යාව හා දාශි භාර්‍යාව කියන හොඳ ලක්ෂණ තියෙන අයට දිව්‍යලෝකෙන් Request එකක් ලැබෙනවා ලැබෙනවා මයි...

අපායෙ දිව්‍ය ලෝකෙ යන එක කොහොම උනත් අපි මේ ලෝකෙ හොඳින් ජීවත් වෙලා ඉන්න එපැයි නේද? ඒනිසයි මේ ටික ගෙඹි පැටියා අක්කලා අයියලාට කියන්න හිතුවෙ....දැන් මෙතන අක්කලා ගැන විතරක් කිව්වා කියල මං එක්ක තරහවෙන්න එපා හොඳේ.....අයියලාටත් එක්කම තමයි කිව්වෙ හොඳේ....ඔය කරුණු ආදේශ කරගන්න තම තමන් ඉන්නෙ කොතනද කියලත් අපිට දැනගන්න පුලුවනිනෙ එතකොට, නේද!.


අක්කලාට ගෞරවයෙන්, ආදරයෙන් සලකන්න අයියලත් හිතට ගන්න ඕනා..

තව කියන්න දේවල් ගොඩයි....දැනටමත් හුඟක් දිගට ලියවුණ නිසා ගෙඹි පැටිය මෙතනින් නවතිනවා...අනිත් දේවල් ගැන ආයෙ දවසක කියන්නම්කෙ හොඳද...හප්පිත් කියනව ගෙඹි පැටියට දැන් ලිව්වා හොඳටෝම ඇතිලු....ක්‍රියාවට නගන්නලු....බක බක බක......



මොකද කියන්නෙ...පහළින් අදහසක් තියලම යන්නෝ......



8 දෙනෙක් මේ ගැන කතා කළා:

සංකල්ප said... Reply To This Comment

අපෝ මට කාලයක් ලැබිලා හිටියා වධක භාර්යාවක්. මට සංසාරේ එපාවෙලා හිටියේ. හොද වෙලාවට කෑල්ල වෙච්චි අවධියේඉම ඒක නැතීවෙලා ගියා. දැන් නම් නිදහස් !!!!

ගෙඹි පැටියා said... Reply To This Comment

@මධුරංග ඕවා ඔහොම තමයි යාලු...හැමදේම වෙන්නෙ හොඳටනේ කියල කතාවකුත් තියෙනවනෙ නේද....බොහොම ස්තුතියි ගෙඹිපැටියා බලන්න පැමිණියාට. ගෙඹි පැටියා දෙන දේවල් ඔයාලගේ ජීවිතයට වටිනවා ඇති කියල ගෙඹි පැටිය හිතනවා

චතුමිතු said... Reply To This Comment

යාළුවෝ වගේ ඉන්න පුළුවන් නම් ගොඩක් හොදයි කියලා හිතෙනවා.මාත් කැමතියි එකට නම්..:)ස්තුතියි කිවුවා ගෙඹි යාළුට මේවා ආයෙත් මතක් කරලා දුන්නට.. :)

හිම හංසි said... Reply To This Comment

මම ඕකෙන් කොයි කෙනාද දන්නෙ නෑ. :) යාළුවෙක් වගේ ඉන්න තියේ නම් හොදයි.

මකුළු පැංචි (මංචි) said... Reply To This Comment

මංචි ඔය මොන ජාතියෙද කියලා අදම වවුල්ස්ගෙන් අහලා දැන ගන්න ඕනෙ... :D...මංචිනං කැමති මාතෘ භාර්‍යාවක් වෙන්න.. :D...

ගෙඹි පැටියා said... Reply To This Comment

@චතුමිතු
හ්ම්....ඔයාටත් ඉස්තුතියි ගෙඹි පැට්ටා බලන්න ආවට යාලු...

ගෙඹි පැටියා said... Reply To This Comment

@හිම හංසි කවුරු උනත් හොඳ අක්කෙක් වෙන්නයි ඕන. නේද හිම හංසි අක්කේ...

ගෙඹි පැටියා said... Reply To This Comment

@මකුළු පැංචිහ්ම්...ගෙඹි පැටියානම් කියන්නෙ අවස්ථවෙ හැටියට ඔය භගිනි,සිඛී,මාතෘ, දාශී වගෙ භාර්යාවොන්ගෙ ලක්ෂණ තියෙනවා හොඳ අක්කලා නිරායාසයෙන්ම.....හැම අක්කා කෙනෙක් ළඟම අම්මා කෙනෙක් හැංගිලා ඉන්නවා නේද කියලත් ගෙඹි පැටියට හිතුණා මකුළු පැංචි අක්කේ...

Post a Comment

සිංග්ලිෂ් වලින් කමෙන්ට් කරන අය මේක ක්ලික් කරන්න.