ගෙඹි පැට්ටා ඔයාලට කිව්වනෙ. අක්කලා ආවෙ වෙනම ලෝකෙකින්. අයියලා ආවෙ වෙනම ලෝකෙකින්. ඉතින් අයියලා අක්කලා වෙනස්. මුල් කාලෙදි නම් ඒ වෙනස්කම් වලට ආදරේ කරනවා. ඒත් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවලුනේ...බක බක බක........අයියලා හිතනව අයියලා විදියට අක්කලා හිතන්න ඕන කියලා. ඒ විදියටම දැනෙනව කියල. අක්කල හිතනව අයියලා අක්කල හිතන විදියට හිතන්න ඕන කියලා. ඒ විදියට දැනෙන්න ඕන කියලා. ඉතින් ඔන්න එහෙම නැති උනාම.......රණ්ඩු පටන් ගන්නවා.
ඔහොම රණ්ඩු ඇතිවෙන්න තවත් හේතුවක් තමයි අපි අනිත් කෙනා මේ විදියට හැසිරෙන්න ඕන කියල කලින්ම උපකල්පනය කරගෙන ඉන්න එක. ඉතින් ඒක එහෙම නොවෙනකොට හිත රිදෙනවනෙ. නේද. ඒත් පළවෙනි කොටසෙදි ගෙඹි පැට්ටා කීව කතාව දන්න අක්කලා අයියලා නම් තරහ නොගෙන දුක නොහිතා ඉවසීමෙන් තේරුම්ගන්න උත්සහ කරාවි කියල ගෙඹි පැට්ටා හිතනවා.
දැන් අපි කතාවට බහිමුකෝ.....
ගෙඹි පැටිය කිව්වනෙ අක්කලා අයියලා එකිනෙකාගෙන් වෙනස් කියලා හිතන විදියෙන් වුණත්. මේ කොටසෙන් කියන්න හිතුවෙ එහෙම පුංචි වෙනස්කම් ටිකක් ගැනයි.
අක්කලාගෙන් තියෙන එක චෝදනාවක් තමයි මේ අයියලා එයාලා කියන දෙයකට හරියට ඇහුම්කන් දෙන්නෙ නෑකියන එක. මොකක් හරි කියපු ගමන් ඒකට විසඳුමක් දෙන්න හදනව මිසක්කා, අක්කා මොකක්ද කියන්නෙ, ප්‍රශ්නෙ මොකක්ද කියල අහගෙන ඉන්නෙ නැහැලු. අක්කලා කියන දේ ටිකක් වෙලා අහගෙන ඉන්නවා. ඉන්පස්සෙ උපකල්පනය කරනවා “ආ මෙන්න මේකයි වෙලා තියෙන්නෙ“ කියලා, ඉන්පස්සෙ ඒකට විසඳුමක් දෙන්නයි හදන්නෙ. ..මේක අපේ අයියලාගෙ හැටි. අයියා මෙහෙම කරන්නෙ අක්කා ගැන ආදරෙන් බවත් අක්කා මතක තියාගන්න ඕන. “ඔයා මම කිනදේ අහගෙන ඉන්නෙ නෑ“ කියල කොච්චර කිව්වත් වැඩක් නෑ. අයියා බලන්නෙ ටුක් ගාලා විසඳුමක් දීල අක්කව සතුටු කරන්නයි. ඒත් ඒ වෙලාවෙ අක්කට විසඳුමකටත් වඩා ඕන කරන්නෙ අහගෙන ඉන්න කෙනෙක් බවත් අයියල හිතන්න ඕන.
දැන් අනිත් පැත්තත් බලමුකෝ. අයියලාගෙන් අක්කලාට තියෙන චෝදනාව තමයි අක්කලා කොයිවෙලාවෙත් අයියලාව වෙනස් කරන්න, පාලනය කරන්න උත්සහ කරනවා කියන එක. අක්කා කෙනෙක් අයියා කෙනෙකුට ආදරේ කරනකොට ඒ අක්කා නිතරම හිතනවා අයියාට උපදෙස් දීලා කරන දේවල් හරියට කරන්න සහය වෙන්න ඕන කියලා. ඒක එයාගෙ වගකීමක් කියලා. ඉතින් ඔන්න අක්කා අයියට උපදෙස් දෙන්න පටන් ගන්නවා. අයියා කොච්චර එපා කීවත් අහන්නෙම නෑ, අක්කත් අයියට උදව් වෙන්න, උපදෙස් දෙන්න අවස්ථාවක් ලැබෙනකල් බලා ඉන්නෙ කොයි වෙලේද කියලා. අක්කා හිතන්නෙ අයියාට අක්කා උදව් වෙනව කියලයි. ඒත් අයියාට හිතෙන්නෙ අක්කා අයියව පාලනය කරන්න හදනව කියලයි. හැබැයි අයියට ඒ වෙලාවෙ ඕන කරන්නෙ උදව්වකටත් වඩා අනුමැතියක්, අදහස පිළිගැනීමක් බවත් අක්කල හිතන්න ඕන.
හොඳයි, දැන් ඇයි මේ අයියල කොයි වෙලෙත් විසඳුම් දෙන්නම හදන්නෙ? ඇයි අක්කලා කොයිවෙලෙත් අයියලට උපදෙස් දෙන්නම හදන්නෙ?
දැන් ආයෙම අපි අපේ පරණ කතාවට යමුකෝ...
අඟහරු ලෝකෙන් ආව අයියලා......බක බක බක.......කතාව මතකයිනෙ නේද? මේ අයියලා අගය කරන්නෙ බලය, තරඟකාරීත්වය, කාර්යක්ෂමතාවය, ජයග්‍රහණ වගේ දේවල්. අයියලා නිතරම බලන්නෙ තමන්ගෙම ශක්තියෙන් යමක් කරගන්නයි. වෙනකෙනෙකුගෙන් අහන එක එයාලට හරියට මදිපුංචි කමක් වගේ. නැට්ටටම තදවෙලා කරගන්නම බැරිනම් විතරයි තව කෙනෙකුගෙ සහය පතන්නෙ. ඒ හැටි. ඒවගෙම අයියලා සාපේක්ෂව වැඩියෙන් කැමති ද්‍රව්‍යමය දේවල් වලට. වාහන, කම්පියුටර්, ෆෝන් වගේ දේවලට අයියල ආසයිනෙ නේද? ඉතින් තමන්ම දෙයක් කරාම තමයි අයියල තමන් ගැන සතුටු වෙන්නෙ. මොකක් හරි කරනකොට ළඟට ඇවිත් අක්කල කුනු කුනු ගාන්න පටන්ගත්තම සමහර අයියලට තද වෙන්නෙ ඒ නිසා වෙන්න ඇති. තමන්ය පුලුවන් කම තියෙද්දි වෙනකෙනෙකුගෙන් අහන එක තමන්ගෙ දුර්වල කමක් කියලයි එයාලා හිතන්නෙ. “මට පුලුවන්කම තියෙද්දි මොකටද මම වෙන කාවවත් ගාවගන්නෙ?“
දැන් මම කිව්වනෙ අයියලාට නැට්ටටම තදවෙලා මොකක් හරි කරගන්නම බැරිනම් තමයි වෙන කෙනෙකුගෙන් අහන්නෙ. ඒ අහන්නෙත් අයිය ගරුකරන විශේෂ කෙනෙකුගෙන් තමයි. දැන් හිතාගන්න පුලුවන් නේද “කෙනෙක් තව කෙනෙක්ගෙන් උදව්වක් ගන්නෙ බැරිම තැනයි“ කියල හිතන අයියලා, අක්කල මොකක් හරි කිව්ව ගමන් අහගෙන ඉන්නෙ නැතිව මැදින් පැනලා විසඳුමක් දෙන්නෙ ඇයි කියල? අයියා හිතනවා අක්කාට විසඳුමක් දෙන එක අයියට ගෞරවයක් කියලා.ඇයි ඉතින් විසඳගන්න බැරිව ඉන්නව කියලනෙ හිතන්නෙ. ගෙඹි පැටියත් හරි ආසයි හප්පිට ඉක්මණින් විසඳුමක් දීල වැඩර් වෙන්න, හප්පිට ආදරේ බව පෙන්වන්න. පැහැදිලිද?
දැන් සිකුරු ලෝකෙන් ආව අක්කලා ගැන බලමුකෝ.....අක්කලා ගොඩක් අගය කරන්නෙ ආදරය, නිතර කතා බහ කරන එක, ලස්සන, බැඳීම් වගේ දේවල්. අක්කලා ගොඩක් කැමති අනිත් අයත් එක්ක එකිනෙකාට උදවු කරගනිමින්, බැඳීම් පවත්වාගෙන යන්නයි උවමනාව. දැන් ඔය අයියලා අලුත් ෆෝන් එකක් ගත්ත කියමුකො....අක්කලා ගොඩක් වෙලාවට ඒකෙ ලස්සන ගැන මිසක් ඒකෙ වැඩ කෑලි ගැන එච්චර උනන්දු වෙන්නෙ නැහැනෙ. නේද. කතා කරන එක තමයි වැදගත්ම දේ. අනිත් අයට තමන්ගෙ දේවල් තොරතෝංචියක් නැතිව කියන එක, අත්දැකීම් බෙදා ගන්න එක අක්කලාට වටිනවා. ඔය ළිඳ ළඟ සංගම් එහෙම දන්නවනේ....බක බක බක.......ඒවගෙම අහන්නෙත් කලින් අනිත් අයගෙ උවමනා එපා කම් හොයල උදව් වෙන්න හදනවා. උදව්වක් දෙන එක, ඉල්ලන එක දුර්වල කමක් කියල අක්කලාට හිතෙන්නෙ නැහැ. ඉතින් හිතාගන්න පුලුවනි නේද ඇයි අක්කලා නිතරම අයියලාට උපදෙස් දෙන්න හදන්නෙ කියලා! හප්පිත් නිතරෝම ගෙඹි පැටියට උපදෙස් දෙනවා ඉවරයක් නෑ, ආදරේට...ගෙඹි පැටියට හිතුණේම හප්පි ගෙඹි පැටියව පාලනය කරන්න හදනවා කියලයි....පැහැදිලිද?
දැන් මේක විසඳගන්නෙ කොහොමද? දෙන්නා දෙවිදියක්නේ? හැබැයි විසඳුම සරලයි නේද!
අක්කලා අයියලාට උපදෙස් දෙන එක වෙනුවට ඒක යෝජනාවකින් කරන්න. “මෙහෙම කරන්න“ කියනවට වඩා “මෙහෙම කළොත් මොකෝ“ කියල ඇහුවොත්, අයියලාට අක්කලා එයාලාව පාලනය කරන්න හදනව කියල හිතෙන එකක් නෑ.
අයියලා අක්කලාට ඇහුම්කන් දෙන්න. “අද හරි මහන්සියි, මට ඔෆිස් එකේ වැඩ වැඩියි“ කියලා අක්කෙක් කීවම “එහෙනම් අපි වෙන එකක් හොයමු“ නොකියා, ළඟින් ඉඳගෙන ටිකක් ළඟට කරන් හිටියොතින්, අක්කලාට හිතේවි එයාලට ඇහුම්කන් දෙන්න කෙනෙක් ඉන්න බව.
මේ දේවල් සීයට සීයක්ම එහෙමම නොවෙන්න පුලුවනි. හැබැයි, පුංචි වතුර බිඳ බිඳ එකතුවෙලා ගඟක් මුහුදක් හැදෙනවා වගේ පුංචි පුංචි හිත් නොහොඳකම්, හිතේ කහට ලොකු ප්‍රශ්නයක් වෙනකල් වර්ධනය වෙන්න නොදී වළකාගන්න එක හොඳයි නේද?....අපේ හිතේ තියෙන්නෙ වටවල කහට විතරයි.....බක බක බක....
ඉතින් ගොඩාක් ලියවුණු නිසා ගෙඹි පැට්ටා දෙවෙනි කොටස මෙතැනින් නවත්තනව හොඳේ. Men are form Mars, Women are from Venus පොත සම්පූර්ණයෙන් කියවන්න ආස අයියලා අක්කලාට බොහොම ලේසියෙන් අන්තර්ජාලයෙන් PDF එකක් විදියටත් ගන්න පුලුවනි.
අදහස් පහළින් තියල යන්නකො හොඳද.....